ලෝක ජනාවාස දිනය සැමරීම – 2017

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම ඔක්තෝම්බර් මස ප්‍රථම සඳු දින ලෝක ජනාවාස දිනය සැමරීම සිදු කරනු ලබන අතර එය මෙම වසරේ ඔක්තෝම්බර් 02 වන දිනට යෙදී තිබුණි.  මෙම ජාත්‍යන්තර දින සැමරුම නිවාස හා ජනාවාස ක්ෂේත්‍රයේ වඩාත් ඵලදායී වැඩසටහනක් ලෙසින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජනතාවගේ මූලික අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාවට නංවනු ලැබීය.

ලෝක ජනාවාස දිනයේ 32 වන සැමරුමෙහි තේමාව ලෙස “නිවාස ප්‍රතිපත්තිය – දැරිය හැකි නිවාස” (Housing policies – Affordable home) යන්න ජගත් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකා ජන සමාජයට හා නිවාස සංවර්ධන ජනාවාස වැඩසටහනට වඩාත් සමීපවන අයුරින් “සරිලන නිවාසයක උරුමය සැමට”  වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබේ.

මෙවර  ලෝක ජනාවාස දින සැමරුම මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් දිප ව්‍යාප්ත ජනාවාස දින සංවර්ධන වැඩසටහනක් ලෙසින් ගරු නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මැතිතුමාගේ සහභාගීත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

මෙහිදී ජනාවාස දිනය නිමිතිකොටගෙන මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 1500කට අධික සංඛ්‍යාවකට “සැමට සෙවන” නිවාස ණය, නිවාස ආධාර, “සොඳුරු පියස ” බැංකු ණය, “විරු සුමිතුරු” ආධාර, හිමිකම් ඔප්පු ප්‍රධාන ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමි කර දෙන ලදී. මීට අමතරව ලෝක ජනාවාස දින ඓතිහාසික පසුබිම හා එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිලබඳ තොරතුරු විදහා දැක්වෙන විශේෂ ප්‍රදර්ශනයක් හා නිවාස සංවර්ධන ක්ෂේත්‍රෙය් වෘත්තිකයින් සම්බන්ධ කරගන්මින් විද්වත් සමුළුවක්ද ගරු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ලෝක ජනාවාස දිනය ආරම්භවන සතිය “ජනාවාස සතිය” ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද  අතර එම සතිය පුරා දීප ව්‍යාප්ත මට්ටමින් විවිධ සංවර්ධන වැඩසටහන්, වැඩමුළු, සම්මන්ත්‍රණ රාශියක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් දියත් කෙරිණි. තවද ඔක්තෝම්බර් මස 06 වන දිනෙන් ඇරඹෙන “ජාතික ආහාර නිෂ්පාදන සතියට” මුල් තැන දෙමින් ඔක්තෝම්බර් මස 06 වන දින දිවයින පුරා සැමට සෙවන ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ඉදි කරන ලද ආදර්ශ ගම්මානවල ගෙවතු වගා වැඩසටහන්ද ක්‍රියාවට නංවන ලදී.

මෙයට අමතරව ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර සහ රචනා තරඟ ජයග්‍රාහකයින්ට ජාතික මට්ටමේ ත්‍යාග ප්‍රදානයද ජනාවාස දින සැමරුම් උත්සවයේදී සිදු කෙරිණි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Pin It on Pinterest