නවතම

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ණය, ආධාර සහ සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම පොළොන්නරුවෙන් ඇරඹේ.

  • ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ණය, ආධාර සහ සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම පොළොන්නරුවෙන් ඇරඹේ.
  • මේ වසර තුළ සින්නක්කර ඉඩම් හිමිකම් ඔප්පු 2,000 දීමේ සැලසුමක්.

ප්‍රතිලාභීන් 326 දෙනෙකු සදහා සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, හිගුරක්ගොඩ තාරුකා මණ්ඩප ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  

මෙහිදී හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රතිලාභීන් 197 කට ඉඩම් බලපත්‍ර සහ ප්‍රතිලාභීන් 43 කට ඉඩම් දීමනා පත්‍ර පිරිනැමිණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පොළොන්නරුව සි.අයි.සි. නිවාස යෝජනා ක්‍රමයේ නිවාසලාභීන් 86 දෙනෙකුට සින්නක්කර ඉඩම් ඔප්පු සහ ප්‍රතිලාභීන් 12 දෙනෙකුට “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ රුපියල් මිලියන 2.3 ක් වටිනා නිවාස ආධාරද පිරිනැමිණි.

දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් ඔප්පු සහ නිවාස ආධාර ලබාදීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර තිබේ. පොළොන්නරුවේදී සිදුකෙරුනේ එහි පළමු වැන්නයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට වතු නිවාස, ග්‍රාමීය හා නාගරික අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් විවිධ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන සහ “මිහිදු නිවහන” නිවාස වැඩසටහන ඒ අතරින් ප්‍රධාන වේ.

එමෙන්ම පසුගිය වසර සහ මේ වසරේ ගතවු කාලය තුළ පමණක් දිවයින පුරා නිවාසලාභීන් 1,890 දෙනෙකු සදහා සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු කර ඇත.  

මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, එහි උප සභාපති ලක්ෂ්මන් ගුණවර්ධන, පොලොන්නරුව අතිරේක දිසාපති ආර්.එම්.කේ.ආර්.බී. රත්නායක, හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව දිස්ත්‍රික් කළමනාකරු චමින්ද තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.