නවතම

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශයට පත් කෙරේ. ඒ අනුව 2027 වසර අවසන්වන විට මෙරට බිම් බෝම්බ වලින්තොර රටක් බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත බිම් බෝම්බ ඉවත් කිරීමේ රජයේ කඩිනම් වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මකයි.    

ඒ අනුව මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම එළිදැක්වීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පසුගියදා (31) දින සිදු කෙරිණ. මෙහිදී පැමිණ සිටි තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ විදේශීය නියෝජිතයින් සදහා මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමට අදාළ සැලැස්ම ප්‍රදානය කෙරුණේ අමාත්‍යංශ ලේකම්තුමා විසිනි.

ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ සහය ඇතිව බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය විසින් 2023 වසරේ සිට 2027 වසර දක්වා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී උපායමාර්ගික වැඩසටහන සකස් කර ඇත. මෙරට බිම් බෝම්බ වලින් නිදහස් කර ගැනීම සදහා ජාතික හා අන්තර්ජතික පාර්ශවකරුවන් සමග සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට මේ යටතේ රජය බලාපොරොත්තු වේ.

2002 වසරේ සිට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන දිවයින තුළ ක්‍රියාත්මක වන අතර 2010 වසරේදී ඒ සඳහා ‘බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ ආරම්භ කෙරිණ. පසුගිය කාලය තුළ මෙම මධ්‍යස්ථානය විවිධ අමාත්‍යංශයන් යටතේ ක්‍රියාත්මක වු අතර වර්තමානයේ එය ක්‍රියාත්මක වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය යටතේයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණය එමගින් සිදුකරනු ලබයි.

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව සෘජු දායකත්වයක් ලබා දෙන අතර ශ්‍රී ලංකා යුධ හමුදා මානුෂ්‍යවාදී බිමි වෙඩි ඉවත් කිරීමේ ඒකකය හරහා එය සිදු ‍කෙරේ. ඊට අමතරව අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන දෙකක් හා දේශීය රාජ්‍ය නොවන සංවිධාන දෙකක් විසින් මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා රජය විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ මානුෂ්‍යවාදී බිමි වෙඩි ඉවත් කිරීමේ ඒකකයට මූල්‍යාධාර ලබා දෙයි. මෙම වැඩසටහන සදහා ආධාර සපයනු ලබන ජාත්‍යන්තර ආයතනවලින් අනෙක් රාජ්‍ය නොවන සංවිධාන 4 සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 17.5 ක මුදලක් සපයනු ලබයි.

මේවන විට උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර 204 කට අධික භූමි ප්‍රමාණයක පුද්ගල නාශක බිමි බෝම්බ ඉවත් කොට සිවිල් ජනතාව වෙනුවෙන් නිදහස් කර තිබේ. තවත් වර්ග කිලෝමීටර 15 කට ආසන්න භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ගලවා ඉවත් කිරීමට නියමිතව ඇති බව ‘බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ සඳහන් කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නිවාස හා සංවර්ධන) ඩබ්ලිව්.එම්. ආනන්ද, ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා ඕසා මස්ලිබර්ග්, බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වී. පේමචන්තිරන්, ශ්‍රී ලංකා යුධ හමුදා මානුෂවාදී බිම් වෙඩි ඉවත් කිරීමේ ඒකකයේ ප්‍රධානී මේජර් ජනරාල් එම්.කේ. ජයවර්ධන, ප්‍රධාන මාණ්ඩලික නිළධාරී (2) මේජර් රජිත අම්බලන්පිටිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.