නවතම

ඔබට ගෙයක් රටට හෙටක් නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50ක වැඩ අවසන්

  • ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50ක වැඩ අවසන්…
  • ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 727 හා මිනුවන්ගොඩ ආසනයේ නිවාස 78 වැඩ අවසන්
  • නිම නොවූ ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 3,750ක්…

“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50ක පමණ වැඩ අවසන්ව ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.‍

ඒ අනුව 2021 වසරේදී නිවාස 12231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6039ක වැඩ අවසන් කර තිබේ. එමෙන්ම 2022 වසරේදී නිවාස 1465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි.

මෙම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයතුළ පමණක් නිවාස 1215ක වැඩ ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 727ක වැඩ අවසන්ව ඇත. එමෙන්ම මිනුවන්ගොඩ ආසනයතුළ පමණක් නිවාස 159ක වැඩ ආරම්භ කර තිබේ. මේ වනවිට ඉන් නිවාස 78ක වැඩ අවසන්කර ඇතිබවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ කොරෝනා වයිරස ව්‍යප්තිය හා රට මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කෙරුණු බවයි. එහෙත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වසර මුලදී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරනු ලැබිණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මීට පෙර වසරවලදී ආරම්භ කර නිම නොවූ ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමට මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3,750ක මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබාදී තිබේ.

ඒ අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ එම මුදල් යොදාගනමින් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භකර, අවසන්කිරීමට නොහැකිවූ සියලුම නිවාසවල ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලෙසයි.

ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංඛල්පයක් මත ඉකුත් 2020 වසරේදීය. ඒ තමන්ටම ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභීන් වෙනුවෙනි. මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ග්‍රාමසේවා වසම් 14022ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14022 ක් ඉදිකිරීමට සැලසුම්කර තිබුණි.