නවතම

අඩු ආදායම්ලාභින්ට කුලී පදනම මත ලබා දී ඇති නිවාස වල කුලිය අය කර ගැනීම ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම නතර කෙරේ….

  • අඩු ආදායම්ලාභින්ට කුලී පදනම මත ලබා දී ඇති නිවාස වල කුලිය අය කර ගැනීම ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම නතර කෙරේ….
  • කදුකර ප්‍රදේශවල පොදු යටිතල පහසුකම් හා සේවාවන් හි සංවර්ධනයට රුපියල් මිලියන 10,000 ක්…
  • උතුරු නැගෙනහිර නිවාස 25,000 ක් සදහා සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් ලබන වසරේ….

 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේදයට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කළ සම්පූර්ණ කතාව….

ගරු කතානායකතුමනි, අප අමාත්‍යංශය යටතේ 123, 291, 309 සිට 311 දක්වා වන වැය ශීර්ෂ සම්බන්ධවයි අද අපි සාකච්ඡා කරන්නේ. පසුගිය අයවැයේදීත් මම පැහැදිලිව කිවුවා, එදා අමාත්‍යංශය සම්බන්ධයෙන් කතා වුනු සියලු කරුණු කාරණා උපදේශන කාරක සභාවට යොමු කරලා අවශ්‍ය පියවර ගන්නවා කියලා. ඒ වගේම අද දිනයේදීත් මේ පාර්ලිමේන්තුවේ මෙම අමාත්‍යංශය සම්බන්ධ වැය ශීර්ෂයේදී ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් උපදේශන කාරක සභාවට ඉදිරිපත් කරලා ඒ පිළිබදව ධනාත්මකව කටයුතු කරන්න   බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනා ඉදිරිපත් කරන කාරණා ධනාත්මකව භාර ගන්න අපි සුදානම් කියන කාරණාවත් මා මතක් කරනවා.

ගරු කතානායකතුමනි,  මම මුලින්ම කියන්න කැමතියි රටේ පැවති ආර්ථික අර්බුදයෙන් පස්සේ රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවට හොදම සහතිකයක් තමයි මෙවර අයවැයෙන් ලබා දී තිබෙන්නේ. මොකද ආර්ථික අර්බුදය නිසා කඩා වැටිලා තිබුණු රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරලා නැවත ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සදහා වැඩපිළිවෙලක් මේ අයවැයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා.

ඒකට හොදම උදාහරණයක් තමයි අපේ අමාත්‍යංශය. අපේ අමාත්‍යංශය මේ රටේ සංවර්ධනය මනින මිණුම් දණ්ඩක්.  නාගරික සංවර්ධනය හා නිවාස කියලා කියන්නේ රටේ සංවර්ධනයේ ප්‍රධාන අංශ දෙකක්. මේ අංශ දෙක නිසි ලෙස සංවර්ධනය වෙනවා කියලා කියන්නේ මේ රටේ සංවර්ධනය සිදු වෙමින් පවතින බවට හොද සාක්ෂියක් ලෙසයි සැලකෙන්නේ.

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා අපේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වුණු ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අතරමග නතර කරන්න සිදු වුණා. ඒ වගේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ ණය සහ සහන වැඩසටහන් තාවකාලිකව නතර කරන්න සිදු වුණා. පසුගිය අයවැයේදී අපි කිවුවා නැවත මෙම ව්‍යාපෘති ආරම්භ කරන බව. මෙම අමාත්‍යංශයේ අයවැය විවාදයට එක්වෙමින් මුලින්ම මම කියන්න කැමතියි අපි කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා තාවකාලිකව නතර වුණු සියලු සංවර්ධන ව්‍යාපෘති වගේම ණය සහ ආධාර වැඩසටහන් මේ වන විට යළි ආරම්භ කරලා තියෙනවා.

ගරු කථානායකතුමනී, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ඒවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ හෝ වේවා වෙන කෙනෙක් ආරම්භ කරල අතරමග නතර කර ඇති සියළුම නිවාස වල වැඩ අපි පටන් ගෙන තිබෙනවා.

මෙවර අයවැයෙන් මේ අමාත්‍යංශය සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 50,632 ක් (බිලියන 50.6) වෙන් කර තිබෙනවා. පුනරාවර්තන වියදම් ලෙස වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2314.4 ක්.

අයවැය ඇස්තමේන්තු මඟින් නාගරික සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 23,412 ක්. නිවාස සංවර්ධනය සඳහා රුපියල් මිලියන 7,650 කුත්, කසල කළමණාකරණය හා පරිසර ආරක්ෂණය සඳහා රුපියල් මිලියන 7,790 කුත් වෙන් කර තිබෙනවා. ඒ වගේම අයවැය යෝජනා මඟින් පුනරීන් නගර සංවර්ධනය, කඳුරට දශකය, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන, අවතැන්වූවන් සඳහා නිවාස ඉදිකිරීම, බණ්ඩාරවෙල තොග එළවළු මධ්‍යස්ථානය දියුණු කිරීම හා විසල් මිහින්තලය යන සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 11,450 ක් වෙන් කර තිබෙනවා.

විවිධ හේතූන් නිසා කඳුකර ප්‍රදේශවල පොදු යටිතල පහසුකම් හා සේවාවන්හි වර්ධනය අඩු බව සියලු රජයන් පිලිගන්නා කරුණක්. මේ තත්වය සැලකිල්ලට ගෙනයි මෙවර අය වැයෙන් කඳුකර දශකය වැනි දස අවුරුදු බහු කාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට යෝජනා කර තිබෙන්නේ. ඒ සඳහා ලබන වසරේ දී රුපියල් මිලියන 10,000 ක් වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහන මධ්‍යම පළාත, සබරගමුව පළාත සහ මාතර, ගාල්ල, කලුතර, බදුල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක ඇතුලුව දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 89ක ක්‍රියාත්මක කරන්න අපි අපේක්ෂා කරනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතට ආයතන 21ක් මුලින් ඇතුලත් වුණා. පසුව ඉන් ආයතන කිහිපයක් වතු යටිතල පහසුකම් අමාත්‍යංශය යටතට පවරා ගැණුනා. ඊට අමතරව අපේ අමාත්‍යංශය යටතේ තිබුණු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල යටතේ මුදල් අමාත්‍යංශය යටතට පවරා ගත්තා. ඒ අනුව මේ අමාත්‍යංශය යටතේ දැන් ඇත්තේ ආයතන 15ක් පමණයි.

මෙම ආයතන 15න් ආයතන 7ක වගකීම රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මැතිතුමාටත්, රාජ්‍ය ආයතන 4 ක වගකීම තේනුක විදානගමගේ රාජ්‍ය ඇමතිතුමාටත් පවරා තිබෙනවා. අපි එකතු වෙලා වැඩ කරන අමාත්‍යංශයක්. ඒ නිසයි මම කැබිනට් ඇමතිවරයා ලෙස මේ බලය බෙදා හැරීම සිදු කළේ. ඒ සියළු දෙනාගේම සහයෝගය අපිට ලැබෙනවා.

කොවිඩ් හා ආර්ථික අර්බුදය නිසා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ප්‍රමාදයක් තිබුණා. එය තවමත් ගෙවා නැති බවට ඇතැම් මන්ත්‍රීවරු පසුගිය දිනවල අදහස් පළ කළා. පසුගිය අයවැය කතාවේ දී මම මේ සභාවට කිවුවා මෙම වසර තුළ මේ මුදල ගෙවා අවසන් කරන බව.

ගරු සභාපතිතුමනි, මේ වසර ආරම්භ වන විට අපිට අපේ අමාත්‍යාංශය යටතේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවන්න තිබුණු මුදල රුපියල් මිලියන 12,501.89 ක්. ඉන් රුපියල් මිලියන 10,512.14 ක මුදලක් මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා. ඒ අනුව ඉතිරි මුදල වන රුපියල් මිලියන 1,989.75 ක මුදල මේ වසරේ දෙසැම්බර් මස 31 වනදා වන විට ගෙවා අවසන් කරන්න කටයුතු කරනවා.

ගරු කථානායකතුමනි, මේක ගියපාර අයවැයේදී කිව්වා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මුදල් ගෙවලා නෑ. ඉදිකිරීම් කර්මාන්තකරුවන් අසරණ වෙලා ඉන්නවා කියලා. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා මේ වනවිට ඒ කටයුතු කරලා තියෙනවා. මේ ආර්ථික අර්බුදය මැද්දෙත් මේ සියළු කටයුතු සිදු කරනවා.

ඒ එක්කම ඉදිකිරීම් කර්මාන්තය සඳහා වෙනම සංවර්ධන බැංකුවක් ස්ථාපනය කිරීම හා ඉදිරි කටයුතු වෙනුවෙන් සංකල්ප පත්‍රිකාවක් අප මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරලා තියෙනවා. මේ වසර තුළ එය ස්ථාපිත කිරීමටත් අපි අපේක්ෂා කරනවා. මෙය ඉදිකිරීම් ක්ෂේත්‍රයට වැදගත් කාරණාවක් වනවා.

ගරු සභාපතිතුමනි, මා පසුගිය වසරේ මෙම අමාත්‍යාංශයට අදාල අයවැය විවාදයේ දී කිව්වා අපි රටේ පවතින ඩොලර් අර්බුදය සැලකිල්ලට ගෙන ඩොලර් වලට නිවාස අලෙවි කිරීම ආරම්භ කළ බව. මේ වනවිට ඩොලර් වලට නිවාස අලෙවි කිරීම තුළින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 06 කට අධික මුදලක් අපි උපයා තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 20 කට ආසන්නයි. මේ යටතේ අලෙවි කර ඇති නිවාස සංඛ්‍යාව 13ක්.

ගරු කථානායකතුමනි, ඩොලර් අර්බුදය තිබුණ වෙලාවේ ඩොලර් හොයන්න ඕනි නිසයි මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. ඒ සඳහා හොඳ ප්‍රතිචාර තිබෙනවා. බොහෝ දෙනෙක් ඉල්ලීම් කරනවා මේ වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යන ලෙසට. මේ වැඩසටහන අපි ඉදිරියටත් ගෙන යනවා. මේ තිබෙන ආර්ථික අර්බුදයටත් මේක ලොකු විසදුමක් වේවි.

 

මෙම ව්‍යාපෘතිය යටතේ අලෙවි කෙරුණේ පන්නිපිටිය වීර මාවතේ ජයන්තිපුර නිවාස ව්‍යාපෘතියේ නිවාස. අපි ඉදිරියේ දී කොළඹ 13, බොරැල්ල, ඔරුගොඩවත්ත, බොරලැස්ගමුව, කොට්ටාව හා මාලඹේ යන ස්ථානවල ඉදිකරන නිවාසත් ඩොලර්වලට විකිණීමට සැලසුම් කර තිබෙනවා.මෙම නිවාස බොහෝමයක් නිවාස අරගෙන තිබෙන්නේ විදේශ රටවල රැකියාවල් කරන මේ රටේ ජනතාවයි.

නාගරික සංවර්ධන අධිකාරියට තිබුණු බරපතලම චෝදනාවක් තමයි සැලසුම් හා ආයෝජන අනුමත කිරීම ප්‍රමාද වීම. එය කාර්යක්ෂම කිරීම සඳහා අපි කඩිනම් සේවා ඒකකයක් (One Stop Unit) ආරම්භ කළා.

ගරු කථානායකතුමනි, මේ සම්බන්ධව හිටපු සියළු ඇමතිවරු උනන්දු වුණා. ඒ අය මේක මෙය යෝජනා කරල ආරම්භ කළා. හැබැයි මම ආවට පස්සේ මේක කඩිනම් කරලා අවසන් කරන්න කටයුතු කළා. නොයෙකුත් චෝදනා තිබුණත් විනිවිද භාවයකින් තොරව කටයුතු කෙරුණු නිසා, විනිවිද භාවයක් ඇති කරන්න මෙය කඩිනම් කරන්නයි මෙය ආරම්භ කළේ.

දැනට මෙය ක්‍රියාත්මක වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණයි. ලබන වසර තුළ ගම්පහ හා කලුතර දිස්ත්‍රික්කවලත් මෙය ආරම්භ කරනවා. 2025 වන විට ලංකාවේ සියලුම නාගරික සංවර්ධන බල ප්‍රදේශවල එය ක්‍රියාත්මක කරනවා.

මෙම ක්‍රියාවලිය ලංකාවේ සියලුම පළාත් පාලන ආයතනවලට හඳුන්වාදීම පසුගිය 10 වන දා අපි උතුරු පළාතෙන් ආරම්භ කළා. ඉදිරියේ දී එය දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට හඳුන්වාදීමට කටයුතු කරනවා. මේක එක තැනකින් පාලනය කළොත් මිනිස්සු රස්තියාදු නොකර අනුමැතිය ලබා දෙන්න පුළුවන් වෙනවා. මේවා කරනකොට ලොකු බාදාවල් එනවා. මම විශ්වාස කරනවා මේක හොද නිලධාරින් කණ්ඩායමක් සම්බන්ධවෙලා කැපවෙලා කටයුතු කරනවා.

නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යයක් තමයි නාගරික සංවර්ධන බල ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ සඳහා ආර්ථික, සාමාජීය, පාරිසරික හා සෞඛ්‍ය වශයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම් සකස් කිරීම. ඒ අනුව නාගරික ප්‍රදේශ  276 ක් අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉන් පළාත් පාලන ආයතන 87ක් සඳහා සංවර්ධන සැලසුම් ප්‍රකාශයට පත්කර අවසන්. මෙම වසර තුළ සංවර්ධන සැලසුම් 26 ක් ගැසට් කරනවා. ඉදිරි වසරවල වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමටත් අපි අපේක්ෂා කරනවා.

මම කිව්වා මේ සංවර්ධන සැලසුම් සකස් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යයක් බව.  1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරියේ පණත යටතේ මේ සංවර්ධන සැලසුම් ප්‍රකාශයට පත් කෙරෙන්නේ. නමුත් මම මේ සංවර්ධන සැලසුම් ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාව පිළිබඳව සෑහීමකට පත්වන්නේ නෑ. 78 ඉදන් ක්‍රියාත්මක වුණා. ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි වෙලා තිබෙන්නේ. එය කඩිනම් කරනත් අපි යෝජනා කර තිබෙනවා.

 

ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව කොළඹ ඇතුලු බස්නාහිර ප්‍රදේශ මහනගර සැලැස්ම, හම්බන්තොට මහනගර සැලැස්ම, නැගෙනහිර පළාත් සංචාරක කලාපයට අදාළ සැලසුම් සකස් කිරීම මේ වන විට සිදු කෙරෙනවා. ලබන වසර තුළ මෙම සැලසුම් ප්‍රකාශයට පත් කර ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඒ වගේම නුවරඑළිය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි කටයුතු කරගෙන යනවා. මහනුවර  නගරය සඳහා සංස්කෘතික හා ඓතිහාසික විසල් මහනුවර සැලසුම ද ලබන වසර තුළ ප්‍රකාශයට පත් කරනවා.

2023 වසරේ දී නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සහ දේපළ 14 ක් සඳහා ආයෝජන යෝජනා කැඳවිම් කරලා තියෙනවා. රටේ ආර්ථික අර්බුධය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදු වූ පසුබෑම් මැද වුවද රුපියල් මිලියන 7,500කට ආසන්න වටිනාකම් ඇති දේපළ ආයෝජකයන්ට බැහැර කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ලබන වසරේ දී රුපියල් මිලියන 10,500 පමණ වටිනා ඉඩම් ආයෝජයන්ට බදු දීමට කටයුතු කරනවා.

මෙම අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව විදේශ ආයෝජන සඳහා අධිකාරිය සතු ඉඩම් සෘජුව බැහැර කිරීමට කටයුතු කරලා තියෙනවා. දැනටමත් ඩොලර් මිලියන 100 කට ආසන්න විදේශ ආයෝජකයන් දෙදෙනෙකු ඊට ඉදිරිපත්ව සිටිනවා. ලොව පිළිගත් හෝටල් ක්ෂේත්‍ර ආයෝජකයෙකු වෙත විසුම්පාය ගොඩනැඟිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහාත්, තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට යාපනය ජනාධිපති මන්දිරය පිහිටි ඉඩමක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. පුද්ගලික අංශයේ ආයෝජකයන් දිරිගැන්වීම සඳහා ඉඩමේ වටිනාකම එකවර ගෙවීම වෙනුවට එය වසර 10ක් තුළ දී ගෙවීමට හැකි වන පරිදි ආයෝජකයන් වෙත ලබාදීමට පියවර ගත්තා. ගරු කථානායකතුමනී, ආර්ථික අර්බුදයත් එක්ක ආයෝජකයෝ රටකට එනවා අඩුයි. ඒ ආයෝජකයින් දිරි ගන්වන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ වනවිට අපි නාගරික සංවර්ධන අධිකාරිය සතු සියළුම ඉඩම් ගොනු කරලා ඉඩම් බැංකුවක් හදලා තිබෙනවා. ඒක අපි තානාපති කාර්යාල හරහා ආයෝජකයින්ට ලබා ගැනීම සඳහාත් මේ වනවිට කටයුතු යොදා තිබෙනවා.

නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස යෝජනා ක්‍රම 22ක නිවාස ඒකක 13,814ක් මේ වන විට ඉඳිකර අවසන්. එහි පවුල් 11,269ක් නැවත පදිංචි කිරීමට පියවර ගෙන තිබෙනවා.

මරික්කාර් මන්ත්‍රීතුමා කියපු කාරණාවට අවධානය යොමු කරනවා. ඒ සඳහා තමයි මේ වැඩපිළිවෙල කොළඹ නගරයේ ක්‍රියාත්මක කරන්නේ. මේ තාක්කල් නොවුනත් ඉඩම් ටික එකතු කරගෙන ආයෝජකයින්ට දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් යටතේ යන්නට. මේ යටතේ නාගරික සංවර්ධන අධිකාරියට අක්කර 116ක භූමි ප්‍රදේශයක් නැවත සංවර්ධනය සඳහා නිදහස් කර ගැනීමට හැකියාව ලැබුණා. මේ ඉඩම් අතරින් සුදුසු ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත සහ වාණිජ කටයුතු සඳහා ලබා දීමට අපි කටයුතු කරගෙන යනවා.

 

ඒ වගේ ආසියානු යටිතල පහසුකම් බැංකුවේ සහය ඇතිව නාගරික අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති 5ක් මේ වන විට ක්‍රියාත්මකයි. ස්ටේඩියම්ගම, කොළඹගේ මාවත, ෆර්ගියුසන් පාර, මාදම්පිටිය සහ ඇපල්වත්ත ප්‍රදේශවල මෙලෙස ඉඳිකෙරෙන නිවාස ගණන 3,600 ක්.

චීන රජයේ ආධාර යටතේ නව නිවාස ව්‍යාපෘතියක් අපි ආරම්භ කරනවා. ඊට අදාළ ගිවිසුම්වලට අපි පසුගිය සඳුදා අත්සන් තැබුවා. යුවාන් මිලියන 552ක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 25ක් පමණ අපට මේ සඳහා චීන රජය ලබා දී තිබෙනවා.

මේක ආධාරයක්. ජනාධිපතිතුමා මැදිහත් වෙලා එතුමා පෞද්ගලිකව මේ කටයුත්තට දායකත්වය ලබා දෙනවා.

එස්.එම්. මරික්කාර් (සජබ පා.ම) – ගරු ඇමතිතුමා චීන රජය බිලියන 24.4 දිලා තිබෙනවා. ලංකාව ආණ්ඩුව ඒකට මිලියන් 3472 ක් දාන්න ඕනේ. ඒකට ප්‍රතිපාදන තිබෙනවාද?

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී පොජපෙ) – ඔබතුමා කියනවා වගේ ඔබතුමා දන්නවා. ආර්ථික ප්‍රශ්නය ගැන ඔබතුමත් දන්නවා. අපිට ලබා දෙන්න බැරි එක නිවාස සංඛ්‍යාව යම් ප්‍රමාණයකට අඩු කරලා අපේ දායකත්වය අඩු කරලා කටයුතු කරලා තිබෙනවා.

කොට්ටාව ප්‍රදේශයේ ඉදිකරන නිවාස 108 සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා යි. මෙම කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට නිවාස ලබා දීමේ දී ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් හදුන්වාදීමට කටයුතු කරනවා.

නාගරික සංවර්ධන අධිකාරිය අඩු ආදායම්ලාභීන්ට වගේම මධ්‍යම ආදායම්ලාභීන් වන වෘත්තිකයින්ට හා රජයේ සේවකයින්ටත් නිවාස ව්‍යාපෘති ඉදිකරනවා. බොරැල්ල ඕවල්වීව් හා අංගොඩ ලේක් ක්‍රෙස්ට් එවැනි නිවාස ව්‍යාපෘති 02ක් එම නිවාස ව්‍යාපෘතිවල නිවාස හිමිකරුවන් සඳහා ඔප්පු ලබාදීම ද මේ වන විට සිදු කෙරෙනවා. දැනටමත් අපි ඔප්පු 264 ක් මෙලෙස ලබා දීලා තියෙනවා.

ගියපාර අයවැයෙදිත් කිව්වා මේ ඔප්පු ලබා දීම සිදු කරනවා කියලා. එහි මූලික වැඩකටයුතු අපි ආරම්භ කළා. ගරු ජනාධිපතිතුමා මේ අයවැයේදී ඉදිරිපත් කළේ ඒ කාරණාවයි. මේක නිකන්ම කරන්න බෑ. රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ සිට ඉඩම් දිලා තිබෙනවා. ඒවාගේ පදිංචි වෙලා ඉන්නවා. ඔප්පු නෑ. බැංකුවකට ගිහින් ණයක් ගන්න බෑ. හදිසියකටවත් පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව මේ නීති හා අනපනත්. ඒවා සංශෝධනය කරන වැඩපිළිවෙල ගැන අවස්ථා හතරකදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කළා. ඒ සඳහා නීතිපති දෙපාර්තුමේන්තුව සම්බන්ධ කරගෙන නීති වෙනස් කරන්න මේ වනවිට කටයුතු කර තිබෙනවා. මේ වනවිටත් 2023 වසරේදී ඔප්පු ලබා දීම සිදු කර තිබෙනවා.

සියක් නගර නාගරික යටිතල පහසුකම් හා නගර සංවර්ධන වැඩසටහන සඳහා මෙම වසරේ දී රුපියල් මිලියන 3,418.41ක ප්‍රතිපාදන වෙන් කෙරුණා. ඒ යටතේ මෙම වසර සඳහා ව්‍යාපෘති 156ක් හඳුනාගත් අතර ඉන් ව්‍යාපෘති 134ක වැඩ මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව ඉතුරු ව්‍යාපෘති 22ක වැඩ අවසන් කිරීම සහ හඳුනාගන්නා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන ලබන වසරේ දී වෙන් කර තිබෙනවා.

 

කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාතේ ජනතාව මුහුණ දෙන බරපතල ගැටළුවක් තමයි ගංවතුර. “පොඩි වැස්සකටත් යට වෙනවා” කියන එක කොළඹ ගැන අපි දන්න කතාවක්. කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ ගංවතුර පාලනය කිරීම සඳහා පසුගිය අයවැයෙන් අපිට රු. මිලියන 2,100ක ප්‍රතිපාදනයක් වෙන් කර තිබුණා. ඒ අනුව කොළඹ අගනගර කලාපය සහ ඒ අවට පවතින ඇල මාර්ගවල කි.මී. 44ක්, ද්විතීයික ඇල මාර්ගවල කි.මී. 52ක් සහ හැමිල්ටන් ඇලෙහි කි.මී. 22ක් නඩත්තු කිරීම ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සිදු කරනවා. ඒ වගේම මාදිවෙල දකුණු හැරවුම් ව්‍යාපෘතිය කළු පාලමේ යෝජිත Gate Mounted Pumps ස්ථාපනය කිරීම වැනි ව්‍යාපෘති 09ක් ක්‍රියාත්මක කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා.

අපි දන්නවා ධාරානිපාත වැස්සත් එක්ක විශේෂයෙන්ම ගම්පහ යට වෙනවා. ඒ පසුගිය කාලේ යම් යම් ව්‍යාපෘති එක්ක තමයි මෙහෙමවත් බේර ගන්න හැකියාව ලැබුණේ.

වේරැස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු 2022 වසරේ දී අවසන් කළා. එහි ඇළ මාර්ග හා අවට පරිසරය පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම හා නඩත්තු කටයුතු මෙම සංස්ථාව සිදු කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේත්, කළුතර දිස්ත්‍රික්කයේත් මේ සඳහා විශේෂ ව්‍යාපෘති ගණනාවක් අපි ක්‍රියාත්මක කරනු ලබනවා.

මුහුදු වැලි දේශීය වෙළඳපළට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට කෙරවලපිටිය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. මේ වන විට එමඟින් නිෂ්පාදනය වන වැලි දේශීයව සහ ජාත්‍යන්තරව අලෙවි කිරීම සඳහා පියවර ගනිමින් තිබෙනවා. ජාත්‍යන්තරව මෙම වැලි අලෙවි කිරීම සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

කොළඹ බේරේ වැවට නාගරික හා කාර්මික අපජලය එකතු කිරීම නිසා එය පිරිහීමකට ලක්වෙලා තියෙනවා. එය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කළා. ජපන් ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 03ක උපකරණ මේ වන රටට ලැබෙමින් තිබෙනවා. බේරේ වැව නඩත්තු කිරීම, එහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම මෙහි දී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහන සාර්ථක වුනොත් අනෙකුත් ප්‍රදේශවලටත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා.

විදුලිබල මණ්ඩලය කෙරවල පිටියේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 05ක් සඳහා අවශ්‍ය ඉඩම් ලබාදීමට අපි කටයුතු කරගෙන යනවා. එය මෙරට ජාතික විදුලිබල පද්ධතියේ ධාරිතාවය වැඩි කිරීමට හේතු වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා ගරු කථානායකතුමනී, මේ

ඉඩම් වලින් මුදල් ලැබෙන්නේ නෑ. අනවසර පදිංචි කරුවෝ රැස්වෙනවා. ඒවා

නියාමනය කරන වැඩපිළිවෙලක් අපි පසුගිය කාලේ කළා. එයින් විශාල ආදායමක්

රජයට ලැබුණා. ඒ මුදල් ජනතාව වෙනුවෙන් එහි ප්‍රතිලාභ ලබා දෙන්න ඉදිරියේදී

කටයුතු කරනවා.

 

ගරු කතානායකතුමනි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ගැන රාජ්‍ය ඇමතිතුමා කතා කරයි. ඔබතුමා කිවුවා වගේ ඔබට ගෙයක් – රටට හෙටක්, මිහිදු නිවාස, විරු සුමිතුරු, සෙවණ ආධාර, ඉන්දියානු ආධාර වගේ විවිධ වැඩසටහන් පසුගිය කාලයේ හදුන්වා දුන්නා. 2020 වසරේ සිට ණය ආධාර වැඩසටහන් යටතේ අපි ඉදිකරලා තියෙන නිවාස ගණන 33,365ක්. මෙයින් නිවාස ආධාර ලබා දීලා තියෙන නිවාස සංඛ්‍යාව 21,917ක්.

පෙර විකුණුම් නිවාස වැඩසටහන යටතේ සොයිසාපුර නිවාස ඒකක 30ක්, රන්පොකුණුගම නිවාස ඒකක 72 ක් සහ තංගල්ල නිවාස ඒකක 30ක් ඉදිකරනවා. ඒ වගේම මිහිදු පුර නිවාස ඒකක 560ක ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.  මම මේ අමාත්‍යංශයට භාර ගත්තට පස්සේ ගරු කතානායකතුමනි  අපි අලුත් දේවල් ආරම්භ කරේ නැහැ. මොකද අපිට තිබුනා ගෙවල් 98,000 ක් බාගෙට හදලා අවසන් කරන්න බැරුව. 

අපි අලුත් දේවල් පටන් ගන්න ඔබතුමා කිවුවා වගේ සජිත් ප්‍රේමදාස මහත්තයා පටන් ගත්ත දේල් පවා අපි අවසන් කරනවා. මොකද ඒවාගේ ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවට. ඒ නිසා ඔබතුමා කිවුව කාරණාව වැරදියි. අපි කරේ නැහැ කියන එක. අපි ගාව සංඛ්‍යා ලේඛන තියෙනවා. අපි එහෙම බෙදීමක් කරේ නැහැ. පසුගිය කාලේ තිබ්බ 98,000 ම ඉවර කරන්න රුපියල් මිලියන 24,000 ක මුදලක් අපිට අවශ්‍ය වෙනවා.

ඒ මුදල සොයාගෙන නිවාස 98,000 ම නැවත ඉදිකිරීම් කටයුතු කරන්න ආරම්භ කරනවා.  අපි එතකම් අලුත් දේවල් වලට යන්නේ නැහැ. ඒ මොකද සමහරවිට ගොඩක් ඇමතිවරු ආවම තමන්ගේ සංකල්ප ක්‍රියාත්මක කරන්න යනවා. මම කියන්නේ කවුරු හෝ හොද දෙයක් නම් ඒ දේ ඉදිරියට යන්න ඕන. වැරදි දෙයක් නම් ඒක නවත්තන්න පුළුවන්. හොද දේ තවත් හොද විදිහට කරන්න පුළුවන් නම් කරගෙන යනවා.

ඒ වගේම මනූෂ නානායක්කාර ඇමතිතුමාගේ අමාත්‍යංශය එක්ක සම්බන්ධ වෙලා විදේශ ශ්‍රමිකයින්ට නිවාස දෙන වැඩපිළිවෙලකටත් අපි අත ගහලා තියෙනවා. ඒකට කැබිනට් පත්‍රිකාව අනුමත වෙලා තියෙනවා. ඒ නිවාස වැඩපිලිවෙල කවදාවත් අවසන් කරන්න පුලුවන් එකක් නෙමෙයි. මං හිතන්නේ ඉතිහිසයේ ඉදන් හැමෝම දන්නවා හැමෝම උනන්දු වෙනවා මේ කටයුතුත්ත කරන්න. නමුත් හැමදාම අපි මේකට එක්හවු වෙනවා. ඔබතුමා කියනවා වගේ අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඉදිරි 2024 අවුරුද්ද ඇතුලත හැම ප්‍රෙද්ශීය ලේකම් කොට්ටාශයකම නිවාස අවශ්‍යතාවය නිවාස ඉදිකිරීම හා නඩත්තුව අලුත්වැඩියා කරගන්න ඕන අයගේ දත්ත ටික එකතු කරලා පින්තූර එක්ක වෙබ් සයිට් එකට දාන්න. වෙබ් සයිට් එකට දාලා අපි දන්නවා විදේශ රටවල ඉන්න බොහෝ දෙනෙක් මේ රටේ මේ වගේ දේවල් වලට උදව් කරනවා. හැබැයි ඔවුන්ට තිබෙන එකම ගැටළුව මේක විනිවිදභාවයක් හා මේ පිළිබදව ඒ අයට තියෙන විශ්වාසයක් නැති හින්දා තමයි කරන්නේ නැත්තේ. හැබැයි රජය මැදිහත් වෙලා ප්‍රාදේශීය ලේකම් හරහා, කාර්යාල හරහා, නිවාස අදිකාරිය හරහා මේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කලොත් ඕනම කෙනෙකුට වෙඩ් සයිට් එකට ගියාම ඒ දිස්ත්‍රික් අනුව තම තමන්ට උවමනා දේවල් කරන්න පුලුවන්. ඒ සල්ලි එකවුන්ට් එකට ඇවිල්ලා ඒවා නියාමනය කරන්න විතරයි තියෙන්නේ. මම හැමදාම කියන දෙයක් රජය මැදිහත් වෙලා දේවල් අඩපන කරපුවාම නිළධාරීන් ගිහිල්ලා ඒවා හැමතිස්සේම අනිත් පැත්තට තමයි කරන්නේ.

ඔබතුමා දන්නවා පළාත් සභාවේ ඔබතුමයි මායි එකට හිටියා. අපි සරුදම් අරුණැල්ල වැඩසටහන කරන කොට බස්නාහිර පළාතේ දහම් පාසල් 2600 කට කිසිම එකකට ආගම් භේදයෙන් තොරව ඒක කලා. ඒ වැඩපිලිවෙල හොද සාර්ථකව කෙරුණා. ඒවා කරනකොට අපි නිළධාරීන්ට දුන්නේ සීමිත වගකීමක්. ඒවා ඒ ආයතන වලට දලා ඒවාගේ  ප්‍රගතිය බලලා වගකීම් කරා. ඒ වගකීම්වල වැඩපිලිවෙලක් මේ නිවාස වැඩසටහන යටතේ කරනවා. මං හිතන්නේ ලංකාවේ සරුදම් අරුණැල්ල වැඩසටහන ඔබතුමා සජිත් ප්‍රේමදසා මහත්තයා කරන වැඩ හොදයි.  දැන් එතුමා කියනවා වගේ මං හදපු හොදම ඉස්කෝලේ අද රේජි රණතුංග පාසල.

ඒ පාලසට බස් රථයකුත් දුන්නා එතුමා ගිහිල්ලා. ගිහින් කතාවකුත් කළා. එතුමා මගේන ඇහුවා කොහොමද ඉස්කෝල හැදුවේ කියලා. ඒ වලේ අලුත් නිර්මාණත් එක්ක අපිට වැඩ කරන්නත් පුලුවන්. ඒ වගේම මේ මෙතුමා කිවුවා වගේ අලුතින් අපිට මේ නිවාස වැඩසහන් මේ ව්‍යාපෘතිය කරොත් රජයම බරක් අදින්නේ නැතුව රජයේ මැදිහත් වීමෙන් පුද්ගලයින් සම්බන්ධ කරගෙන කරන්න පුලුවන්කම තියෙනවා.

විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සදහා විශේෂ අවධානයක් මේ වැඩසටහන යටතේ අපි අවධානය යොමුකරලා තියෙනවා. අවුරුදු 3ක් යුද්ධය අවසන් කරාට පස්සේ උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණේ යුද්ධය නිසා විනාශවෙලා තිබුණු උතුරු හා නැගෙනහිර ජන ජීවිතය යථා තත්වයට පත් කරන්නයි. අපි දන්නවා මේ අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ යුද්ධය මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහනය කරලා ඒ පැතිවල ඉන්න මින්සුන්ට සාධාරණයක් කරන්න තමයි නැගෙනහිර නවෝදය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලේ. නමුත් ඒ ප්‍රතිචාර ඔබතුමන්ලා දන්නවා. යුද්ධයක් කරාම වෛරය  තරහා කිබුනා ඒ මිනිසුන්ට. යුදුධය ජයග්‍රහණයත් එක්ක ඒ ප්‍රතිපලයක් හැටියට අපිට ඒ ප්‍රෙද්ශවල ජනතාවගේ සහයෝගය නැතත් ඒ මිනිසුන්ට අසාධාරණයක් නොකරන්න ඒ වකවානුවේදී කටයුතු කරා. ඒ වගේම විශේෂයෙන්ම වර්තමානව ජනාධිපතිතුමා කෙරෙහි ලොකු විශ්වාසයක් උතුරු නැගෙනහිර ජනතාව කෙරෙහි තියෙනවා.

 ඒ නිසා මේ වන විට  යුධ ගැටුම්වලින් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා රජය විවිධ පාර්ශවයන්ගේ සහාය ඇතිව කටයුතු කළා. ඒ අනුව මේ වන විට නිවාස 148,848ක් ඉදිකරලා නැවත පදිංචි කිරීම සිදු කර තිබෙනවා. මේ වසර ආරම්භ වන විට නිවාස ඒකක 1,700 ක වැඩ අවසන් වෙලා තිබුනේ නැහැ. ඉන් නිවාස 1,104ක් මේ වන විට වැඩ අවසන් කර තිබෙනවා. අපි මේ වසරේ දී තවත් නිවාස ඒකක 1,665ක ඉදිකිරීම් ආරම්භ කලා.

 

මෙම නිවාස ඉදිකර අවසන් කිරීම සඳහා රුපියල් මිලයන 1,500ක් සහ යටිතල පහසුකම් සැලසීමට තවත් රුපියල් මිලියන 500ක මුදලක් අයවැයෙන් වෙන් කර තිබෙනවා. එය අත්‍යවශ්‍ය මුදල් වෙන් කිරීමක් ලෙසයි මම විශ්වාස කරන්නේ. ඉදිරි වසර 3ක කාලය තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරන්න අපි අපේක්ෂා කරනවා.

2027 වසර අවසන් වන විට මෙරට බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල වර්ග කිලෝ මීටර් 204 කට අධික භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කර සිවිල් ජනතාව වෙනුවෙන් නිදහස් කළා. තවත් වර්ග කිලෝ මීටර් 15කට ආසන්න භූමි ප්‍රමාණයකයි බිම් බෝම්බ ඉවත් කිරීමට තිබෙන්නේ. මේ සම්බන්ධව අපිට විදේශ ආධාර ලැබිලා තියෙනවා. විදේශ ආදාර දෙන රටවල් වල ලංකාවේ වැඩපිලිවෙල ගැන ලොකු ප්‍රසදායක් තියෙනවා. ඒ අය විශාල උනන්දුවක් තියෙනවා. ඒ අයගේ ඉලක්ක වලට අපි ගිහින් තියෙනවා. ඒ පිළිබදවත් සම්මන්ත්‍රනවලට ගියාම ලොකු ප්‍රතිචාරයක් අපේ වැඩපිලිවෙල ගැන තියෙනවා. ඒ සම්බන්ෂව අදාල නිලදාරීන්ට අපි ස්තුතිය පුද කරනව‍.

කොටි ත්‍රස්තවාදී යුද්ධය නිසා 1985 දි මුලුමනින්ම විනාශයට පත්වුනු යාපනය නගර ශාලා ගොඩනැඟිල්ල ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිට වෙන් කර තිබෙනවා. එහි අදියර 1හි ඉදිකිරීම් ලබන වසර තුළ අවසන් කරන්න අපි අපේක්ෂා කරනවා.

පුනරීන් නගරය සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. පුනරීන් නගර සංවර්ධන සැලැස්ම යටතේ පුනරීන් කොටුව ආශ්‍රිත සංචාරක කලාපය සංවර්ධනය සහ පුනරීන් වෙළදපොළ හා සෙසු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

ගැටුම්වලින් පීඩාවට පත් උතුරු හා නැගෙනහිර ජනතාවගේ පානීය ජල ගැටළුවට විසදුම් ලබාදීමට ද පසුගිය කාලයේ අපි කටයුතු කළා. කිළිනොච්චිය, වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික්කවල පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස නැනෝ ප්ලාන්ට් ජල පෙරණ ඒකක 50ක් ස්ථාපිත කර තිබෙනවා.

ඉන් 25ක් මේ වන විටත් ජනතා අයිතියට පවරා අවසන්. ඉතිරි ඒකක 25 ද මේ වසර අවසන්වීමට පෙර ජනතා අයිතියට පත් කරනවා. මේ වසරේ දී මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 11ක්. උතුරු නැගෙනහිර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 500න් තවත් නැනෝ ප්ලාන්ට් ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම අපි උතුරු නැගෙනහිර ඉලක්ක කරගෙන නිවාස 25,000 ක් සඳහා සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් මේවනවිට ආරම්භ කර තිබෙනවා. අපි මේවන විට විදුලි බල අමාත්‍යංශය සමග සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂය වන වින විට භාගෙට ඉදිකරලා තියෙන ගෙවල් 25,000 කට උතුරු නැගෙනහිර මේ සූර්ය පැනල සවි කරන ව්‍යාපෘතිය යටතේ ගෙවල් හදන්න. එතකොට ඒ බර රජයට ලැබෙන්නේ නැහැ. ඒ ආයතනවලට ලැබෙනවා. ඒ ලාබයෙන් කොටස් ආයෝජනය කරන සමාගමට ලැබෙනවා.

මරික්කාර් මැතිතුමා කතා කළා කුලි කපා හැරීම හා ඔප්පු ලබා දීම පිළිබඳව.මම ඔබතුමාට කිව්වා ගියපාර අයවැයේදිත් කිව්වා. පසුගිය දවස්වල ගෙවල් ගෙවල් ප්‍රමාණයකට ඔප්පු ලබා දීම සිදු කර තිබෙනවා.

ඔබතුමා කිව්වා නාගරික සංවර්ධන අධිකාරියේ ගෙවල් 14,559 ක් තිබෙනවා කියලා.  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නාගරික කොටසේ 4,730, බැහැරව තිබෙනවා 32,294ක් තිබෙනවා. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ 682ක් තිබෙනවා.

මේ සම්පූර්ණ ගාන 52,265 යි. මීටත් අමතරව එක එක ආයතනවලින් ඉදිකළ නිවාසත් තිබෙනවා. ඒ සියළුම දේවල් බැලුවොත් මීට වඩා විශාලා ප්‍රමාණයක් තිබෙනවා.

එස්.එම්. මරික්කාර් (සජබ පා.ම) – 50000ක් කොළඹ නගරයේ නෑ කියලයි මම කියන්නේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග – ජනාධිපතිතුමා කිසිම අවස්ථාවක කොළඹ නගරයේ ගෙවල් 50000ක් දෙනවා කියන්නේ නෑ. මේක වැරැදියට තේරුම් ගන්න එපා. ඔබතුමාට දිස්ත්‍රික්කයේ ඡන්ද ගන්න උවමනාව තිබෙනවා. ඒ සඳහා පෙනී සිටින්න ඕනේ.

එස්.එම්. මරික්කාර් (සජබ පා.ම) – ඇමතිතුමා ආර්ඩී එකෙන් ගත්ත ඒවාට ඔප්පු ලබා දී තිබෙනවා. රාජ්‍ය ආයතනවලින් ගත්ත ඒවාට ඔප්පු ලබා දී තිබෙනවා. ඒක ඇත්ත මම නෑ කියන්නේ නෑ. තට්ටු නිවාස 50000ක් කොළඹ නගරයේ කොළඹ නගරයෙත් නෑ. කොළඹ දිස්ත්‍රික්කයෙත් නෑ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග – නිවාස නෑ කියන්න මම දන්නවා. දැන් මේ වනවිට මිහිදුපුර, සිරිසරු උයන, මෙට්‍රෝ හෝම්ස් යන තුනේම 2024 ඔප්පු දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඔබතුමා දන්නවා මේක ක්‍රියාත්මක කරනකොට පැන නගින ප්‍රායෝගික ගැටළු. මිනිස්සු හදපු නීති තමයි මිනිස්සුන්ට බාධාවක් වෙලා තියෙන්නේ මේවා ක්‍රියාත්මක කරන්න. එහෙමනම් ඒ අනපනත් නීති වෙනස් කරන්න ඕනේ. ඒවා ලේසී නෑ. ඒවා එක එක ආයතනවලට ගියාම මාස හය හත යනවා. ඒ නිසයි ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණේ කෙටි කාලයක් තුළ මේක ඉවර කරන්න. ඒ සඳහා පසුගිය අවුරුද්දෙම මූලික සාකච්ඡා තිබ්බා. ලබන අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා නීති රීති අනපනත් වෙනස් කරලා මේක කඩිනමින් ක්‍රියාත්මක කරන්න.

ඔබතුමන්ලා ඇහැව්වා එතකොට මේ නිවාස සංකීර්ණවල නඩත්තු කටයුතු කෙරෙන්නේ කොහොම ද කියලා. සහාධිපත්‍ය නීතිය අනුව මෙවැනි නිවාස යෝජනා ක්‍රමවල නඩත්තු කටයුතු පැවරෙන්නේ එම නිවාස යෝජනා ක්‍රමවල පිහිටුවන සහාධිපත්‍ය කළමණාකරන කමිටුවලටයි. සහාධිපත්‍ය කළමනාකරණ කමිටු පත් කරන්න නම් සාමාන්‍යයෙන් අදාල නිවාස යෝජනා ක්‍රමයේ සියයට 50ක් වත් ඔප්පු ලබාදීලා අවසන් වෙන්න ඕන. හැබැයි ඔප්පු ලබා දෙන්න රජයේ ආයතනවලින් ඉදිකිරීම් කරපු ඒවා නම් කරන්න බෑ. රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ කාලයේ ඉදන් තිබුණ ගැටළු ඔබතුමා කිව්වා. එහෙනම් සහාධිපත්‍ය ඒකේ නීති අනපනත් සංශෝධනය කරන්න ඕනේ. සියයට 50කට ඔප්පු දුන්නට පස්සේ ඒ අයට පුළුවන් කළමනාකරණ කමිටු පත් කරන්න. ඊට පස්සේ නඩත්තු කටයුතු කරගෙන යන්න පුළුවන්. අපිට නඩත්තු මුදල් ලබා දෙන්න ඕනේ නෑ. ඒකට උදව් කරන්න වෙනම වැඩ පිළිවෙලකුත් කරගෙන යනවා.

මේ වෙනකොට ජනාධිපතිතුමා පත් වුනාට පස්සේ මේ වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කළා. ඒ කමිටුව හඳුනාගත් ගැටලු පිළිබද වාර්ථාවක් ජනාධිපතිතුමාට භාර දී තිබෙනවා. ඒ අනුව මේ ගැටලු අදාළ පාර්ශව සමග සාකච්ඡා කරලා අදාළ අණ පනත්වලට අවශ්‍ය යාවත්කාලීන කිරීම් කරන්න අපි කටයුතු කරගෙන යනවා.

මම ඉල්ලීමක් කරනවා මේ ආර්ථික අර්බුදය මේක එකපාර වෙච්ච දෙයක් නෙමෙයි. අවුරුදු ගාණක ප්‍රතිඵලයක්. හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස එතුමා ප්‍රකාශය. එතුමා ඒක පැහැදිලිව කර තිබෙනවා. මේ කාල සීමාවේදී කොවිඩ් වසංගතයත් එක්ක සියළු දෙනාට වගකීමක් තිබෙනවා මේකට කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඔබතුමන්ලා හැමදේමට විරුද්ධ වෙනවට වඩා. අපි බලාපොරොත්තු වෙනවා අද දවස තුළ මේ කරුණු කාරණා ක්‍රියාත්මක කරන්න අදහස් ඉදිරිපත් කරන්න කියලා.  අපි ඒවා බැහැර කරන්නේ නෑ. හොද අදහස් ඉදිරිපත් කළොත් අපිට ඒක ධානාත්මකව කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා.

මේ අමාත්‍යාංශයේ කටයුතු කරද්දි විශේෂයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලත්. අපේ අමාත්‍යාංශයේ ලෙකම්තුමා සභාපතිවරු ඇතුළු නිලධාරීන් විශාල කැප කිරීමක් කරනවා. මේක ලේසි කාලයක් නෙමෙයි. අපි පසුගිය අවුරුදු කිහිපය තුලදීම අමාරුවෙන් කටයුතු කළේ. මේ අමාත්‍යාංශය මේ රටේ තිබෙන ශක්තිමත්ම අමාතයාංශයක්. මේ අමාත්‍යාංශයේ හිටපු ජනාධිපතිවරු, අගමැතිවරු හිටපු එකක්. දක්ෂ ඇමතිවරු කටයුතු කළා. ඒ අයට වැඩ කරන්න මුදල් ඕනි තරම් තිබුණා. නමුත් අපි මේක භාර ගන්නකොට අපිට ඒ ශක්තිය තිබුණේ නෑ. අපි වෙනත් ක්‍රම හරහා. ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරන්න මේ නිලධාරීන් විශාල කාර්ය භාර්යක් කරනවා. ඒ සියළු දෙනාටම මගේ ස්තූතිය පුදකරනවා.